පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ භූ විෂමතාව, ජලවහනය හා කාලගුණික තොරතුරු

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 3112 දක්වා උන්නතාංශයකින් යුක්තව පිහිටා ඇත. බල ප්‍රදේශයේ පහත්ම ප්‍රදේශය හකමුව මාරපන ප්‍රදේශය වන අතර උසම ස්ථානය අඩි 3179 ක් උස කුට්ටපිටිය කඳු ප්‍රදේශයයි.

රත්නපුර නිවිතිගල මාර්ගයට සම්බන්ධ තිරිවානකැටිය මාරපන ප්‍රදේශය ප්‍රධාන මාර්ගයට දකුණින් පිහිටා ඇති කොටසක්, රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ දෙපස ඇති නිම්න කොටසක් හැරුණු විට ඉතිරි සියල්ල කඳු සහිත වේ. මේ කඳු දැනට විශාල වශයෙන් කැලෑවලින් යුක්ත වන අතර මේවා ජල පෝෂිත ප්‍රදේශ වශයෙන් ද හැඳින්විය හැකිවේ. ප්‍රදේශයේ ජලවහන රටාව මෙම භූ විෂමතාව මත තීරණය වී ඇත.

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජලවහනය කළු ග‍ඟේ අතු ගංගාවන් වන දෙනවක ගඟ, වේ ගඟ, හංගමු ගඟ සහ ඒවාට සම්බන්ධ වන අතු ගංඟා රාශියකින් ද සමන්විත වේ. ප්‍රදේශය හරහා වැඩි දුරක් ගලා බසින දෙනවක ගඟ ගිණිකොන වයඹ දිශානුගතව ගලා බසින අතර, බටහිර අර්ධයේ දී ප්‍රදේශයෙන් බැහැර වී නැවතත් ප්‍රදේශයට ප්‍රවිෂ්ඨ වන ගංඟාව ගිණිකොන වයඹ දිශානුගතව ගලා වයඹ සීමාවෙන් බැහැර වී කළු ගඟට එකතු වේ.

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී 3000-4500 ක් දක්වා ලැබේ. සම්පූර්ණයෙන්ම තෙත් කලාපය තුළ පිහිටි මෙම කොට්ඨාසයේ උතුරු මායිමට වන්නට වර්ෂාපතනය වැඩි ස්වභාවයක් ඇති අතර, උතුරු මායිමේ පිහිටි කුට්ටපිටි කන්ද ප්‍රදේශය මි.මී 4000 ට වැඩි වර්ෂාවක් පවතී. ඉතිරි කොටස් සියල්ල මි.මී 3000-4000 ක් අතර වර්ෂාවක් ලැබේ. වර්ෂාපතනය මි.මී 3500 රේඛාව පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා නැගෙනහිර බටහිර දිශානුගතව විහිදේ. ඒ අනුව සාපේක්ෂ වශයෙන් අඩු වර්ෂාවක් ලබනුයේ දකුණු ප්‍රදේශයේ පිහිටි කිරිබත්ගල කදු මායිමයි.