කර්මාන්ත බදු අයකිරීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත කර්මාන්ත බද්දක් ගෙවිය යුතු ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන සියළු දෙනා පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට වාර්ෂිකව කර්මාන්ත බද්ද ගෙවිය යුතුය.

කර්මාන්ත බදු ගෙවීමේ පටිපාටිය
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි කර්මාන්ත බද්දක් ගෙවිය යුතු ව්‍යාපාරික ස්ථානයන් වෙත අයදුම්පත්‍රයක් නොමිලේ ලබාදෙනු ලැබේ.
- අයදුම්පත් නැවත එකතු කරගනු ලැබේ.
- කර්මාන්ත බද්දක් ගෙවිය යුතු ව්‍යාපාරයන්ගෙන් පහත සඳහන් ආකාරයට බදු අයකරගනු ලැබේ.

වාර්ෂික වටිනාකම රු.75000.00 නොඉක්මවන - රු. 500.00
වාර්ෂික වටිනාකම රු. 75000.00 - 150000.00 අතර - රු. 750.00
වාර්ෂික වටිනාකම රු. 150000.00 ට වැඩි - රු. 1000.00

බදු ගෙවීමෙන් අනතුරුව ඒ සඳහා වන ලදුපත ලබාගත යුතුය.

මෙම බද්ද තීරණය කරනු ලබන සාධක පහත පරිදිය.
- ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම
- වෙළදාමේ ස්වභාවය
- රැස්වන ලාභය
- ව්‍යාපාර මගින් සපයනු ලබන නිෂ්පාදනයන්ගේ අත්‍යාවශ්‍යතාවයේ මට්ටම.

වෙළඳ බදු නොගෙවීමේ දී,
- ව්‍යාපාරයේ හිමිකරුට දැන්වීමක් නිකුත් කරනු ලැබේ.
- දැන්වීමට ප්‍රතිචාර දක්වමින් ගෙවීමක් සිදු නොකරන විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරිය හැක.

 

ප්‍රසිද්ධ රැගුම දැක්වීම සඳහා බලපත්‍ර ලබා දීම

මෙහිදී සැණකෙළි සහ සර්කස්, සංගීත සංදර්ශන, විවිධ ප්‍රසංග හා මැජික් සංදර්ශන සහ ක්‍රීඩා, නර්ථන, මල්ලවපොර හා පිහිනුම් උළෙල සඳහා බලපත්‍ර ලබා දීම සිදුකෙ‍රේ. 1942 අංක 7 දරන ප්‍රසිද්ධ රැගුම් ආඥාපනතට අනුව ප්‍රාදේශීය සභා බල සීමාව තුල සිදුකෙරෙන චිත්‍රපට හෝ වේදිකා නාට්‍ය යන වර්ගීකරණය යටතට නොවැටෙන ඕනෑම සංදර්ශනයක් සඳහා ප්‍රසිද්ධ රැගුම් දැක්වීමේ බලපත්‍රයක් ලබාගත යුතුය.

මේ සඳහා,
- අයදුම්පත්‍රයක් ගාස්තුවක් ගෙවීමෙන් තොරව ප්‍රාදේශීය සභාවෙන් ලබා ගත යුතුය.
- ගෙවීමක් සිදු කිරීම මත බලපත්‍රය නිකුත් කෙ‍රේ. (ගාස්තුව කාලානුරූපව සභාව මගින් තීරණය කරන ලද්දකි.)
- ජනතාවගේ විරෝධයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් තීරණයක් ගනු ලැබේ.

මස් වෙළදාම සඳහා බලපත්‍ර නිකුත් කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සියළුම සත්ව ඝාතකාගාර සහ මස් වෙළඳසල් ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණයට හා පාලනයට යටත් වේ.

එය ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක පවත්වා ගෙන යන්නේ නම්,
- සභාව විසින් මස් වෙළඳසැල් වාර්ෂිකව ටෙන්ඩර් කරනු ලබන අතර තෝරා ගනු ලබන ටෙන්ඩර්කරු විසින් සභාව විසින් නියම කරනු ලබන කුලී මුදලක් ද මාසිකව ගෙවිය යුතුය.

මස් වෙළඳසැල පෞද්ගලික ස්ථානයක පවත්වා ගෙන යාමෙ දී ඒ සඳහා සභාව විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබා ගත යුතුවේ.

මේ සඳහා වන බලපත්‍ර වර්ග දෙකකි.
- තාවකාලික බලපත්‍ර
- වාර්ෂික බලපත්‍ර
සත්ත්ව ඝාතකාගාරයක් සහ හෝ මස් වෙළඳසැලක් පවත්වාගෙන යාම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

අදාල නිලධාරීන් විසින් සිදු කෙරෙන ස්ථානීය පරීක්ෂණයකින් පසු විරෝධතා ඇත්නම් දැනුම් දෙන ලෙස දැන්වීමක් ගැසට් පත්‍රයේ පල කෙ‍රේ.

විරෝධතා නොමැති විට බලපත්‍රයක් නිකුත් කෙ‍රේ.

මෙහිදී අයදුම්කරු ප්‍රාදේශීය සභාව සමග ගිවිසුමකට අත්සන් තැබිය යුතු අතර ප්‍රාදේශීය සභාව වෙත ඇපකරයක් තැන්පත් කළ යුතුය.

මෙම බලපත්‍ර ගාස්තුව ගෙවීම මගින් වාර්ෂිකව අලුත් කරගත යුතුය.

විරෝධතාවක් පැමිණි විට,
- සභාවේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගනු ලැබේ.
- තීරණය ලැබී දින 10 ක් ඇතුලත සභාපතිවරයාගේ තීරණයට එරෙහිව ඕනෑම පාර්ශවයකට අභියාචනා කළ හැකි අතර අමාත්‍යවරයාගේ තීරණය අවසාන තීරණය වේ.
- සියළු විධිවිධානයන් සපුරා නොමැති විට ඌනතා පිළිබඳව අයදුම්කරුට දැනුම් දී ඒවා නිවැරදි කිරීමේන් පසු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

සැ.යු: අනුමැතියකින් තොරව සත්ව ඝාතකාගාරයක් සහ/හෝ මස් වෙළඳසැලක් පවත්වාගෙන යන්නෙකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හැක.

වරිපනම් බදු අයකිරීම

තම දේපල පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා වරිපනම් සීමාව තුල පිහිටා ඇති පහත දැක්වෙන ආකාරයන්ට අයත් ඉඩමක හෝ ගොඩනැගිල්ලක පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු ගෙවීමට යටත්වේ.
- වරිපනම් සීමාව තුල පිහිටි නිශ්චල දේපලක හිමිකරුවෙකු වීම.
- වරිපනම් සීමාව තුල පිහිටි නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක කුලී හිමියා වීම.
- වරිපනම් සීමාව තුල පිහිටි රජයට අයත් නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක හිමිකරු වීම.
- වරිපනම් සීමාව තුල පිහිටි නිශ්චල දේපලක හවුල් හිමිකරුවෙකු (සම හිමිකරුවෙකු) වීම.

මෙහිදී
- තම දේපලෙහි වටිනාකමින් 6% ක් වරිපනම් බදු වශයෙන් ගෙවිය යුතු වෙයි.
- අදාල වර්ෂයේ මුල් මාසය තුල වරිපනම් බදු ගෙවීමේ දී 10% ක වට්ටමක් අයිතිකරු වෙත හිමිවේ.
- කාර්තුවක් සඳහා ගෙවිය යුතු මුදල අදාල කාර්තුවේ පළමුවන මාසය තුල දී ගෙවනු ලැබුව හොත් 5% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
- එසේ නොමැති නම් අදාල වර්ෂය තුල කාර්තු 4 ක් සඳහා කාර්තුවෙන් කාර්තුව වුවද වරිපනම් බදු ගෙවීමේ හැකියාව ඇත .
- වරිපනම් බදු ක්‍රියාත්මක වන පෙදෙසක බිම් කොටසක් මිලයට ගන්නා අයෙකු ඒ සඳහා නව වරිපනම් අංකයක් ලබාගත යුතු වෙයි. (ඔප්පු සාරාංශයක් හා සම්පූර්ණ කරන ලද අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්)
- දැනට වරිපනම් අංකයක් හිමි අයෙකුගේ සම්පූර්ණ දේපල පවරා ගන්නා අයෙකු නම් ඔප්පු සාරාංශයක් හා සම්පූර්ණ කරන ලද අයදුම්පතක් ඉදිරිපත් කර ප්‍රාදේශීය සභා වරිපනම් ලේඛනයේ නම ඇතුලත් කර ගත යුතුය.
- වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීමට හෝ නව වරිපනම් අංකයක් ලබා ගැනීමට අදාල පෝරමය රු. 1000/- ක් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබාගත හැක.
- එම ඔප්පු සාරාංශය හා අයදුම්පත, තම හිමිකම් ලියවිලි ඉදිරිපත් කර නොතාරිස්වරයෙකු ලවා පුරවා සහතික කරගත යුතුවේ.
- එසේ පුරවාගත් පෝරමය එහි පිටපතක් ද සහිතව මිනින්දෝරු සැළැස්මෙහි පිටපත් දෙකක් හා ඔප්පුවෙහි පිටපත් 2 ක් සමග කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- එවිට ඔබේ නම වරිපනම් ගෙවන්නෙකු වශයෙන් ලේඛනගත වේ.
මෙ පිළිබඳ වැඩිදුර තොරතුරු සභාවේ වරිපනම් අංශයෙන් ලබා ගත හැක.

දැනට වරිපනම් බදු අයකර ගනු ලබන කොට්ඨාශ
- ධර්මපාල මාවත
- ධර්මපාල මාවත දෙවන පටුමග
- රක්වාන පාර
- රත්නපුර පාර
- කුට්ටපිටිය පාර
- කුට්ටපිටිය වටරවුම් පාර
- කුට්ටපිටිය හරස් පාර
- ධම්මරක්ඛිත මාවත
- ඉහළ බෝපිටිය පාර
- පහළ බෝපිටිය පාර
- බලංගොඩ පාර
- කාමරංගපිටිය පාර
- රූප අරුණ මාවත
- රූප අරුණ මාවත පළමු පටුමඟ
- වලව්ලත්ත පාර
- ජිනානන්ද මාවත
- කෙටේතැන්න මොරතොට පාර
- කළවාන පාර

 

විනෝද බදු අය කිරීම

1946 අංක 12 දරන විනෝද බදු ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල සිදු කෙරෙන සියළු මහජන සංදර්ශනයන් විනෝද බද්ද ගෙවීමට බැඳී සිටී. මෙම බද්ද සියළු මහජන සංදර්ශනයන්ගේ ප්‍රවේශපත්‍ර තුල අඩංගු වන අතර ආගමික, අධ්‍යාපනික හා පුණ්‍ය කටයුතු සඳහා වන දර්ශනයන් හැර සෙසු සියළු මහජන සංදර්ශනයන්ගෙන් මෙය අයකරගනු ලැබේ.
- ගාස්තුව විනෝද බද්ද ලෙස අයකරගනු ලබනුයේ ආදායමෙන් 15% ක ප්‍රතිශතයකි.
- මහජන සංදර්ශනයන් පිළිබඳ වගකීම දරණ තැනැත්තා/තැනැත්තන් මෙය ප්‍රවේශ පත්‍රයේ මිලට ඇතුලත් කරනු ලබයි.
- ප්‍රාදේශිය සභාවේ සභාපතිගේ මුද්‍රාව සියළුම ප්‍රවේශපත්‍රවල යොදා තිබිය යුතුය.
- සිනමා ශාලා නොවන අනෙකුත් සංදර්ශණ සඳහා මෙම මුද්‍රාව තැබීමේ දී අදාල බදු මුදල් ප්‍රාදේශීය සභාව වෙත ගෙවිය යුතු වේ. මෙය ආරක්ෂණ තැන්පත් මුදලක් ලෙස තබා ගන්නා අතර සංදර්ශනය අවසානයේ දී අලෙවි නොවූ ටිකට්පත් සඳහා අයකරගත් මුදල ආපසු ලබා දෙනු ලැබේ.
- මහජන සංදර්ශනය පිළිබඳ වගකීම දරණ තැනැත්තා / තැනැත්තන් අලෙවි වූ ප්‍රවේශපත්‍ර පිළිබඳ දෛනික වාර්තාවක් තබාගත යුතුය.
- එක් එක් දර්ශනය සඳහා අලෙවි වූ ටිකට් පත්‍ර සභාවේ ආදායම් පරීක්ෂක/ ආදායම් පරිපාලක විසින් පරීක්ෂාවට ලක් කෙ‍රේ.
- සිනමා දර්ශන සඳහා දෛනික වාර්තාව අනුව අලෙවි වූ ටිකට්පත් සංඛ්‍යාව සළකා බලා ගෙවිය යුතු ආදායමෙන් 15% ක බදු මුදල දෛනිකව අයකරගනු ලැබේ.
- විනෝද බදු ගෙවීම පැහැර හැරියහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.

 

 

වෙළඳ කුටි බද්දට දීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 119 වගන්තිය අනුව හා 1980.12.31 දින පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අංක 1980/46 දරන චක්‍රලේඛනයට අනුව වෙළඳ කුටි ඉදිකර සේවයක් ලෙස මහජනයාට බද්දට දීමට ප්‍රාදේශීය සභාවට බලය ඇත.

ගාස්තු නියම කිරීම
- ප්‍රාදේශීය සභාව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන මුදලකට වෙළඳ කුටි ලබා දෙනු ලැබේ.
- තෝරාගනු ලබන අයදුම්කරුවන් මාස තුනක වාරිකයන්ට සමාන මුදලක් ආරක්ෂිත ඇපයක් ලෙස තැන්පත් කළ යුතුය.
- ප්‍රාදේශීය සභාව විසින් තීරණය කරනු ලබන ගාස්තුවකට ටෙන්ඩර් ලේඛන ලබා ගත හැක.

අයදුම් කිරීමේ පටිපාටිය
- පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කිරීම.
- ටෙන්ඩර් ලේඛන ගාස්තුව ගෙවීමෙන් පසු ටෙන්ඩර් අයදුම්පත් සභා කාර්යාලයෙන් ලබා ගැනීම.
- අදාල ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්පතුව ගෙවිම.
- ටෙන්ඩර් අයදුම්පත් ටෙන්ඩර් පෙටිටියට දැමීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම.
- වැඩීම මුදලක අකර්පනය සිදුකරනු ලබන අයදුම්කරු වෙළඳ කුටි බද්දට ගැනීමේ අවස්ථාව ලබයි.
- සාර්ථක අයදුම්කරුවන්ට ආරක්ෂක තැන්පතුව හා මූලික ගෙවීම සිදු කළ පසු වෙළඳ කුටි භාර ගත හැක.
- වෙළඳ සහතිකය ලබා ගත් පසු වෙළඳ කටයුතු ආරම්භ කළ හැක.

සෑම මසකටම 10 දිනට පෙර කඩ කුලී ගෙවිය යුතුය. ප්‍රමාද වී කරන ගෙවීම් සඳහා මාසික දඩ මුදලක් අය කරනු ඇත. මාස දෙකට වඩා හිඟ මුදල් ශේෂයන් පවත්වාගෙන යෑම ගිවිසුම් කොන්දේසි කඩ කිරීමක් වේ.

වාරික ගෙවීම පැහැර හැරීමක දී,
- අවසන් දැන්වීම යැවීම.
- ගෙවීම සිදු නොකළ විට වෙළඳ කුටිය මුද්‍රා තැබීම.
- ඒ සඳහා නැවත ටෙන්ඩර් කැඳවීම සිදු කරනු ලැබේ.

රජයේ හෝ පළාත් පාලන ආයතනයේ මුදල් වියදම් කර පැරණි වෙළඳ කුටි වෙනුවට අළුතින් වෙළඳ කුටි ඉදි කරන අවස්ථාවක දී, පැරණි වෙළඳ කුටි වල කුලී නිවැසියන් නව වෙළඳ කුටි වල කුලී නිවැසියන් ලෙස තෝරා ගනු ලැබේ. වාණීජ බැංකුවකින් මුදල් ණයට ගෙන පැරණි වෙළඳ කුටි වෙනුවට අළුතින් වෙළඳ කුටි ඉදි කරන ලද අවස්ථාවක දී පැරණි මෙන්ම නව කුලී නිවැසියන් ද තෝරා ගනු ලැබේ. බදු ගැනුම්කරුගේ ඉල්ලීම හෝ ඔහුගේ මිය යාම හේතුවෙන් බද්ද ඔහුගේ/ඇයගේ බිරිඳ/ සැමියා හෝ දුව/පුතා වෙතට මාරු කළ හැකි අතර එවැන්නක් සිදු කිරීමට අවශ්‍ය වූ විට ප්‍රාදේශීය සභා ලේකම් වෙතින් ඉල්ලීමක් කළ යුතුය.

 

වෙළඳ බලපත්‍ර ලබා දීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත හා එම පනත යටතේ නිර්මාණය කරන ලද අනු නීති අනුව පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන සියළු දෙනා පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතුය.

ව්‍යාපාර
- සාමාන්‍ය ව්‍යාපාරයන්
- අනතුරුදායක ව්‍යාපාරයන්
- අප්‍රසන්න ව්‍යාපාරයන්
-අනතුරුදායක හා අප්‍රසන්න ව්‍යාපාරයන්
වශයෙන් ප්‍රාදේශීය සභා පනතට අනුව වර්ගීකරණය කර ඇත.

වෙළඳ බලපත්‍රයක් අවශ්‍යවන අයදුම්කරු ප්‍රාදේශීය සභා සීමාව තුළ අනතුරුදායක, අප්‍රසන්න, අනතුරුදායක හා අප්‍රසන්න ව්‍යාපාරයක් පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අයෙකු විය යුතුය. බලපත්‍රයක් වෙනුවට බදු ගෙවිය යුතු ව්‍යාපාරයන් ප්‍රාදේශීය සභාව විසින් අර්ථකථනය කර එම ව්‍යාපාරයන් ගැසට් පත්‍රයේ 4 වන කොටසේ පල කරනු ලැබේ.

ගාස්තුව

- රු, 1000.00 ට අඩු මුදලක් (ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම මත) වෙළඳ බලපත්‍ර ගාස්තුව ලෙස අයකරනු ලබයි.
- ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්තියට අනුව ව්‍යාපාරයන්ගෙන් වාර්ෂික වටිනාකම පදනම් කරගෙන පහත සඳහන් ආකාරයට බදු අයකර ගනු ලබයි.

- වටිනාකම රු.75000.00 නොඉක්මවීම - රු. 500.00
- වටිනාකම රු. 75000.00 - 150000.00 අතර - රු. 750.00
- වටිනාකම රු. 150000 .00ට වැඩි - රු. 1000.00

බලපත්‍රයක් ලබා නොගතයුතු ව්‍යාපාර සම්බන්ධව ව්‍යාපාර බද්දක් අයකර ගනු ලැබේ.
ප්‍රාදේශිය සභා සීමාව තුල පිහිටි සියළු ම වෙළඳ ව්‍යාපාරයන් වෙත ගොස් අයදුම්පත් ලබා දීම.
සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර එකතු කිරීම.
අයදුම්කරු සපයන ලද තොරතුරු වල වලංගු භාවය පරීක්ෂා කිරීම.
මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අනුමැතිය සඳහා යොමු කිරීම.
ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
අඩු පාඩු නොමැති විට බලපත්‍රය සඳහා නිර්දේශ කෙ‍රේ.
බලපත්‍ර ගාස්තු අයකර ගැනීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කෙ‍රේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අනුමැතිය නොලැබුණු විට,
- අයදුම්පත්‍රයේ ඇති අඩුපාඩු සඳහන් කරමින් අයදුම්කරු වෙත ලිපියක් එවනු ලැබේ.
- එකී අඩුපාඩු නිවැරදි කර ප්‍රාදේශීය සභාව වෙත දැනුම් දිය යුතුය.
- නැවත සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණයකින් පසු ව්‍යාපාරය සියළු සෞඛ්‍ය නීති හා කොන්දේසි සපුරා ඇත්නම් අනුමැතිය ලබා දී බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු සළසනු ලබයි.

වෙළඳ බලපත්‍රයක් ලබා නොගන්නා විට,
- වෙළඳ බලපත්‍රයක් ලබා ගන්නා ලෙස ව්‍යාපාරයේ හිමිකරුට අනතුරු අගවනු ලැබේ.
- දැන්වීම සිදුකොට දින 07 ක් ඇතුලත බලපත්‍ර ලබානොගත්තේ නම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබිය හැක.

 

සමහර ඉඩම් විකිණීම සම්බන්ධයෙන් බදු අය කිරීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 154 වගන්තියට අනුව සමහර ඉඩම් විකිණීමේ දී බද්දක් අයකර ගත හැක.
-ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් වෙන්දේසිකරුවකු තැරැවිකරුවෙකු හෝ එවැන්නෙකුගේ සේවකයෙකු හෝ නියෝජිතයෙකු විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ
-වෙනත් ක්‍රමයකින් විකුණනු ලබන අවස්ථාවක දී එම විකුණුම්කරු හෝ වෙන්දේසිකරු හෝ තැරැව්කරු හෝ ඔහුගේ සේවකයා හෝ නියෝජිතයා බද්දක් ගෙවිය යුතුවෙ.
- ගාස්තුව ප්‍රාදේශීය සභාව විසින් ගැසටි පත්‍රයේ පල කරනු ලැබේ

පටිපාටිය
‍- ඉඩම පරීක්ෂාවට ලක් කිරීම.
- ගෙවිය යුතු මුදල දැනුම් දීම.
- එවිට ගෙවීම සිදු කොට රිසිටිපතක් ලබාගත යුතුවේ.
- දින 14 ක් ඇතුලත ගෙවීම පැහැර හැරි විට ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත හැක.