පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පරිසර හා සෞඛ්‍ය අංශය

අනතුරුදායක ගස් ඉවත් කිරීම
ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානියක් විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සඳහා ක්‍රියා මාර්ග ගනු ලැබේ. මෙහිදී ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුවේ.
ගස හෝ ගසේ අත්ත දින 14 ක් ඇතුලත ඉවත් නොකෙරුනේ නම් එය ඉවත්කර ඒ සඳහා ගිය වියදම එම ගසේ අයිතිකරුගෙන් අයකර ගැනීමට සභාපතිවරයාට බලය ඇත.

අනතුරුදායක ගස් ඉවත් කිරී‍මේ ක්‍රියා පිලිවෙල
- අනතුරුදායක ගස් අයදුම්පත්‍රය නිකුත් කිරීම. (ගාස්තු අය කර)
- අනතුරුදායක ගස පැමිණිලිකරුගේම ඉඩමේ පවතී නම් පුද්ගලිකව ගස කපා දැමීමට කටයුතු කළ යුතු බව දැන්වීම හා කපා හෙලීමට විශේෂයෙන් අවසර ගත යුතු ගස් සම්බන්ධව (කොස්, දෙල්, තල්) ග්‍රාමසේවක මඟින් ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සහිතව ගස කපාගැනීම සඳහා යොමුකිරීම.
- ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ලැබී ඇති / නැති අනතුරුදායක ගස් සඳහා ස්ථාන පරීක්ෂණ සිදුකිරීම සඳහා ප්‍රදේශය භාර කාර්මික නිලධාරී වෙත යොමුකිරීම.
- කාර්මික නිලධාරී විසින් ස්ථාන පරික්ෂා කොට ලබාදුන් වාර්තාව ප්‍රාදේශීය සභා ගරු සභාපති වෙත යොමුකිරීම.
- පළමු නිවේදනය නිකුත් කර දින 14 පසුත් ගස ඉවත්කිරීමට පියවර නොගත්තේ නම් අවශ්‍යතාවය අනුව අවසාන නිවේදනය යැවිම.
- ඉහත කිසිදු ක්‍රමයකින් අනතුර ඉවත් නොවන අවස්ථාවක පහත පරිදි කටයුතු කරනු ලැබේ.
- නියෝගයන්ට අනුව ගස ඉවත්කර නොමැති නම් සභාව මඟින් ගස කපා ඉවත් කිරීම සඳහා කටයුතු කිරීම.
- වර්තමාන තත්ත්වය පැහැදිලි කර ගැනීමට කාර්මික නිලධාරී වාර්තාවක් ලබාගැනීම.
- ප්‍රාදේශීය ගස්කැපුම්කරුවන් වෙතින් මිලගණන් කැඳවීම.
- ගස්කැපුම්කරුවෙකු තෝරා ගස කැපීමට වැයවන මුදල සඳහන් කර එම මුදල් අයකිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද දන්වා ගස ඉවත්කරන දිනය ගස හිමිකරුට ලිඛිතව දැනුම්දීම.
- පොලීසියේ සහාය ඇතිව ගස කපා ඉවත් කිරීමට කටයුතු කිරීම.
- ගස ඉවත් කර දින 14ක් ඇතුළත වැය වූ මුදල ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු අතර, එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු කටයුත්තක් ගොනු කිරීම මගින් මෙම කාර්යය සඳහා වැය වන ලද සියළුම වියදම් අයකර ගැනීමට පියවර ගනු ඇත.

01. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 107(I) හා (II) උප වගන්ති වලින් ගරු සභාපතිතුමාට ලැබී ඇති බලතල අනුව ජීවිත හා දේපල වලට අනතුරුදායක ගසක අතු,ගෙඩි, කඳ හෝ ගස ඉවත් කිරීමට නියෝග දීමේ බලය ඇත.
02. එසේම ජීවිත හා දේපල වලට අනතුරුදායකව වෙනත් ඉඩමක ගසක් යම් ආකාරයකින් අසල්වැසියන්ට පවතින අවස්ථාවක ඉල්ලීම පරිදි රු:750 ක මුදල ‍ගෙවා අයදුමුපතක් ලබා ගෙන එය සම්පූර්ණ කර කාර්යාලයට භාර දිය යුතුය.
03. ඉන් අනතුරුව එම ගස කාර්මික නිළධාරී විසින් ස්ථාන පරික්ෂාව කර අනතුරුදායක තත්ත්වය වාර්ථා කිරීමෙන් අනතුරුව ගරු සභාපතිතුමා එම අනතුරු ඉවත් කරන ලෙස ලිඛිතව දින 14ක කාලයක් ලබා දී ගස් හිමිකරුට දැනුම් දෙයි.
04. අනතුරු ඉවත් නොවූ බව අනතුරුදායක අය නැවත දැනුම් දුන් අවස්ථාව පෞද්ගලික ගැටළුවක් පවතී නම් දෙපාර්ශවය කැඳවා අවවාද කර ගැටළුව විසදයි.
05. එසේ නොවන අවස්ථාවක ගරු සභාපතිතුමා විසින් බලය පවරන කම්කරුවෙකු විසින් ගස්වල අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම සිඳු කරයි.
06. දින 14ක කාලයක් ඒ සඳහා වැය වූ මුදල් ප්‍රාදේශීය සභාවට ගෙවීම කල් ලබා දෙනු ලැබේ.
07. එසේ නොවන අවස්ථාවක ලිපි ගොනු නීතිඥ මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් කර අලාභය මෙන්ම වැය වීමට ඇති සියලු ලිපිගොනු ගාස්තු ආදිය උසාවි හමුව මඟින් අයකර ගනු ලැබේ.
(ඇමුණුම් 01 = අනතුරුදායක ගස් අයදුම් පත්‍රය)

 

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

වර්ෂ 2015 මාර්තු මස 17 දින සිට වැඩ ආරම්භ කරන ලද පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ පනාවැන්න ප්‍රදේශයේ පිහිටුවා ඇත. ප්‍රාදේශීය සභාව විසින් දෛනිකව එකතුකරන කසළ නිසි කළමනාකරණයකින් යුතුව ප්‍රජාවට හා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හාණියක් නොවන අයුරින් බැහැර කිරීම මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණ වේ.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය.
01. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සැලැස්මට අනුව දෛනිකව කසළ එක් රැස් කිරීම.
A. දිරන අපද්‍රව්‍ය ඉරිදා දින හැර ඉතිරි දින වලදී ද,
B. නොදිරන අපද්‍රව්‍ය ඉරිදා දින පමණක් ද,
C. පොහොය නිවාඩු දින වල කසළ රැස්නොකිරීමට ද කටයුතු කරනු ලැබේ.
02. දිරණ කසළ හා නොදිරණ කසළ වෙන්කර ලබාදීම ප්‍රජාවගේ වගකීම වේ.
03. වෙන්කර ලබා නොදෙන කසළ සේවකයින් විසින් භාර නොගනු ඇත.
04. වෙන්කර ලබා දෙන නොදිරන දෑ තව දුරටත් වෙන්කර (කාඩ් බෝඩ්/වීදුරු/ප්ලාස්ටික/පොලිතීන්/යකඩ ආදී) 05. වෙන වෙනම ගබඩා කුටි වල ඇසිරීම.
06. වෙන්කර ලබාදෙන දිරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් කරණය සඳහා යොමුකරනු ලබයි.
07. වෙන්කර ලබා දෙන නොදිරන දෑ ප්‍රමාණවත් තොග රැස් වූ පසු සුදුසු ගැණුම්කරුවකු තෝරා අලෙවි කිරීම.
08. දිරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත්කිරීමෙන් පසු කි.ග්‍රෑ 500 ට අඩුවෙන් ලබාගන්නා ඉල්ලුම්කරුවන්ට කි.ග්‍රෑ 1ක් රු. 20.00 බැගින් ද, කි.ග්‍රෑ 500 ට වැඩියෙන් ලබාගන්නා ඉල්ලුම්කරුවන්ට කි.ග්‍රෑ 1ක් රු. 15.00 බැගින් ද අලෙවි කරනු ලැබේ.

දෛනිකව දිරන කසල එකතු කිරීම පිලිබද විස්තර මෙතැනින් ලබා ගන්න

දුරකථන අංකය: 045 347 1400

 

පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය විධිමත් ලෙස ඉටු කිරීම සඳහා 2000 අංක 53 හා 1988 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත වර්ෂ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත අංක 2264/18 හා 2022-01-27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පාරිසරික පනතේ විධිවිධාන වලට අනුකූලව සිදුකළ යුතු වේ.

පරිසර බලපත්‍ර ලබා ගැනීම ආකාර 2කි.
- නව අයදුම්පත්‍රයක් මඟින් අයදුම් කිරීම.
- මේ වන විටත් ලබා ගෙන ඇති බලපත්‍රය අළුත් කිරීම. (ලබා ගත් බලපත්‍රය අවලංගු වීමට මාස 03කට ප්‍රථම අළුත් කිරීම සිදු කළ යුතුය. එසේ බලපත්‍රය අවලංගු වීමට ප්‍රථම අළුත් කර නොගත් බලපත්‍ර සදහා නැවත නව අයදුම්පත්‍රයක් මඟින් ක්ෂේත්‍ර පරීක්ෂණයකට (පරීක්ෂණ ගාස්තු සහිතව) යටත්ව අයදුම් කිරීමට සිදු වනු ඇත.

ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු
කර්මාන්ත ක්‍රියාවලියක්/ නියමිත කටයුත්තක් සදහා වන ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව එහි මූලික ප්‍රාග්ධන ආයෝජනය පදනම් කර නිශ්චය කරනු ලබයි.

නව අයදුම්පත්‍රයක් මඟින් අයදුම් කිරීමේ පිලිවෙළ
2022.01.27 දිනැති සහ 2264/18 අංක දරණ ගැසට් පත්‍රය අනුව, ‘’ඈ‘’ කාණ්ඩයට අයත් නියමිත කර්මාන්ත 39 සදහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට අදාල පළාත් පාලන ආයතනය වෙත අයදුම් කළ යුතු වේ.
1. නව අයදුම්පත්‍රයක් ලබා ගැනීමේ දී අයදුම්පත්‍රය සම්පූර්ණ කර පහත සදහන් ලියකියවිලි සමඟ භාර දිය යුතුය.
- කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන මාර්ග සටහන.
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය.
- ප්‍රාදේශීය සභාවෙන් වෙළද බලපත්‍රය සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සිය
- ඔප්පුවේ පිටපත
- ඉඩමේ මිනින්දෝරු සැලැස්ම (පිඹුර)
2. අයදුම්පත්‍රය භාරදීමෙන් අනතුරුව අයදුම්පත්‍රයේ සම්පූර්ණ කර ඇති පරිදි ආයෝජනය කරන ලද මුදල අනුව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ගෙවීම.
3. ඒ අනුව අදාල නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම.
4. ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කළ ලිපි ගොනු පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
- පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කරන හෝ නිර්දේශ නොකරන ලද අයදුම්පත්‍ර ලේකම්ගේ, ගරු සභාපතිතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
- තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍ර සදහා බලපත්‍ර ගාස්තු ගාස්තු ගෙවීම් සිදු කරන ලෙස දැනුම් දීම. (ගාස්තුව රු.4500.00+මුද්දර ගාස්තු රු.450.00=රු.4950.00)
5. තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ නොකරන ලද අයදුම්පත්‍ර සදහා අඩුපාඩු දන්වා ඒ අඩුපාඩු සකස් කරන ලෙස අදාල ආයතනය/ පුද්ගලයා වෙත දන්වා යැවීම.
6. එම අඩුපාඩු සකස් කිරීමෙන් අනතුරුව නැවත ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කර හෝ සුළු අඩුපාඩු වේ නම් පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටු උපදෙස් මත ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු නොකර පාරිසරික තාක්ෂණික කමිටුව වෙත යොමු කිරීම.
7. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු ගෙවීම් සිදු කරන ලද ආයතන සඳහා බලපත්‍රය මුදුණය කර, ගරු සභාපතිතුමාගේ අනුමැතියට සහ අත්සනට ඉදිරිපත් කිරීම.
8 පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම.

බලපත්‍රය අළුත් කිරීමක් මඟින් අයදුම් කිරීමේ පිලිවෙළ
1. අළුත් කිරීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කර පහත සදහන් ලියකියවිලි භාර දී නොමැති නම් එම ලියකියවිලි සමඟ භාර දිය යුතුය.
- අදාල ප්‍රාදේශීය සභාවෙන් වෙළද බලපත්‍රය සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සිය
2. අදාල නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම.
3. ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කළ ලිපි ගොනු පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
4. (i)පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කරන හෝ නිර්දේශ නොකරන ලද අයදුම්පත්‍ර ගරු සභාපතිතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
(ii) පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍ර සදහා බලපත්‍ර ගාස්තු ගාස්තු ගෙවීම් සිදු කරන ලෙස දැනුම් දීම. (ගාස්තුව රු.4500.00+මුද්දර ගාස්තු රු.450.00=රු.4950.00)
(iii) පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ නොකරන ලද අයදුම්පත්‍ර සදහා අඩුපාඩු දන්වා ඒ අඩුපාඩු සකස් කරන ලෙස අදාල ආයතනය/ පුද්ගලයා වෙත දන්වා යැවීම. එම අඩුපාඩු සකස් කිරීමෙන් අනතුරුව නැවත ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කර හෝ සුළු අඩුපාඩු වේ නම් පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටු උපදෙස් මත ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු නොකර පාරිසරික තාක්ෂණික කමිටුව වෙත යොමු කිරීම.
5. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු ගෙවීම් සිදු කරන ලද ආයතන සඳහා බලපත්‍රය මුදුණය කර, ගරු සභාපතිතුමාගේ අනුමැතියට සහ අත්සනට ඉදිරිපත් කිරීම.
6. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම.

 

නව බලපත්‍රයක් ලබා ගැනීම සහ නව පරිසර බලබත්‍රයක් ලබා ගැනිම හා අළුත් කිරීම.

01. පරිසර ආරක්ෂක බලපත්‍ර ලබා දීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් 1980 අංක 47 දරණ ජාතික පරිසර පනතෙහි විධි විධානයන්ට අනුව, 2022.01.27 දිනැති 2264/18 අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව "ඈ" කොටසෙන් පළාත් පාලන ආයතනයන් වෙත බලපත්‍රයන් ලබා දිය හැකි ව්‍යාපාර 39ක් පිළිබඳ ලේඛනය පහත වේ.(ඇමුණුම් 01)
මෙම ව්‍යාපාර 39 හැර අනෙක් ව්‍යාපාරයන් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු විය යුතුය.
02. ඉහත ව්‍යාපාර 39ට අනුව බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙක අයෙකු සඳහා පහත කහ පාට පෝරමය පුරවා ඒ සමඟ පහත ලියවිලි රැගෙන පැමිණිය යුතුය.(ඇමුණුම් 02,ඇමුණුම් 03)
03. ඉහත ඇමුණුම් 03ට අනුව විවිධ ව්‍යාපාරයන්ට අදාළ බලපත්‍රයන් පිටතට ඇමුණුමට ඇතුළත් කළ යුතු අතර ඒවා පහත වේ.
I. දැව සම්බන්ධ ව්‍යාපාරයන් නම් දැව ආරක්ෂණ බලපත්‍රය
II. ගල්වලක් නම් භූ විද්‍යා බලපත්‍රය
04. ලිපි ගොනුව සම්පූර්ණව කාර්යාලයට ලබා දීමෙන් පසු පරීක්ෂණ ගාස්තු අය කරයි. එම ගාස්තුව අය කිරීම ව්‍යාපාරයට ආයෝජනය කළ මුදල අනුව එකිනෙකට වෙනස් වේ.

 ආයෝජන(රු)  පරීක්ෂා කිරීමේ ගාස්තුව (උපරිම) (රු)
 01. 250000 හෝ ඊට අඩු
02. 250001-500000
03. 500001-1000000
04. 1000000ට වැඩි 
 3000
3750
5000
10000

 

05. සම්පූර්ණ වු ලිපි ගොනුව ව්‍යාපාර පරීක්ෂාවට MOH වෙත යැවීම සිදු වේ. එහිදී මහජන සෞඛ්‍ය පරික්ෂක ව්‍යාපාරය පරීක්ෂා කර අත්සන් තබා නිර්දේශය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මඟින් සිදු කර නැවත කාර්යාලට ලබා දෙයි.
06. MOH වෙතින් ලිපි ගොනුව ලැබුණු පසු එය ස්ථාන පරික්ෂාවට කාර්මික නිළධාරී වෙත යොමු කරයි.
07. ස්ථාන පරීක්ෂාවෙන් අනතුරුව ලිපි ගොනුව තාක්ෂණික ප්‍රගති සමාලෝචන කමිටුව වෙත යොමු කරයි. ඒ සඳහා පහක නිළධාරීන් සම්බන්ධ වේ.
I. ලේඛම් ප්‍රාදේශීය සභාව
II. පරිසර නිළධාරී මධ්‍යම පරිසර අධිකාරිය
III. බිට්ටු වන නිළධාරී, වන සංරක්ෂක දෙපාර්තමේන්තුව(දැව ලේඛන ඇති අවස්ථාවල පමණි.)
IV. ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක
V. කාර්මික නිළධාරීන්
VI. විෂය භාර නිළධාරී
08. කමිටු නිරිදේශයෙන් පසු එම බලපත්‍ර ලබාදීමේ ලිපිගොනුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ අනුමැතියෙන් පසුව බලපත්‍රය අත්සන් කර නිකුත් කිරීම කළ හැක.
09. එම බලපත්‍රයේ කොන්දේසි ද අමුණා ගරු සභාපතිතුමාගේ අත්සනින් නිකුත් කරනු ලැබේ. මෙම බලපත්‍රය සඳහා ගාස්තුව රු:4500 ක මුදලක් වන අතර මුද්දර ගාස්තුව රු:450 වේ. කාර්යාලයට පැමිණ මුදල් ගෙවා බලපත්‍රය ලබා ගත යුතුය. මෙම බලපත්‍රයක් වසර 03කට වරක් අළුත් කිරීමට සිදු වේ. බලපත්‍රයක් කාලය ඉකුත් වීමට මාස 03කට පෙර අළුත් කර ගැනීමට අයදුම් පත්‍ර භාර දිය යුතුය.(ඇමුණුම් 04)
10. බලපත්‍රය අළුත් කිරීමේදී ද ඉහත ක්‍රමවේදයම අනුගමනය කරන අතර පරීක්ෂණ ගාස්තුව පමණක් අය නොකරයි.

 

ප්‍රජා මණ්ඩල පිහිටුවීම
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ජනතාවගේ සිතුම් පැතුම් සහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ස්වේච්ඡා සමිති වල අවශ්‍යතාව ප්‍රභලව දැනෙන්නට වූ අතර එවකට පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ දිවංගත එස.ඩබි. ආර්.ඩී. බණ්ඩාරණායක ශ්‍රී මතානන් විසින් ලංකාව පුරා ප්‍රජා මණ්ඩල ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලදී.

යම් ගම්මානයක ජනතාවගේ විවේක කාලය අර්ථවත්ව හා ඵලදායී අන්දමින් ගෙවා ගැනීම සඳහා ප්‍රජා මණ්ඩලයක් ඉවහල් වේ. ප්‍රාදේශයේ පොදු යහපත සඳහා වන අවශ්‍යතාවයන් සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමේ මධ්‍ය ස්ථානය මෙම ප්‍රජා මණ්ඩලය වේ.

ප්‍රජා මණ්ඩලයක් සංවිධානය කිරීම ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සහ අසල් වැසි අනෙකුත් ස්වේච්ඡා සමිති හා සම්බන්ධ වී ප්‍රාදේශයේ ජනතාවට ඵලදායී සේවාවක් ලබා දීම සඳහා කටයුතු කිරීම අප පළාත් පාලන ආයතනයේ වගකීම වේ.

ප්‍රජා මණ්ඩලයක් ප්‍රදේශයේ ජනතාව විසින් ඔවුන්ගේ උවමනාවකට පිහිටුවා ගන්නක් විය යුතුය. ප්‍රජා මණ්ඩලයක් පිහිටුවීමේ දී ගම්මානයක් වශයෙන් යොදා ගන්නා අතර ගම්මාන ඉතා විශාල වන්නේ නම් ප්‍රදේශයේ පළාත් පාලන කොමසාරිස්තුමාගේ උපදෙස් හා අනුමැතිය මත ප්‍රජා මණ්ඩල වැඩි ගණනක් පිහිටුවාගත හැක.

එමෙන්ම පිහිටුවාගන්නා ලද ප්‍රජා මණ්ඩලය මෙම පළාත් පාලන ආයතනයේ ලියා පදිංචි කළ යුතුය. ප්‍රජා මණ්ඩලයක් පිහිටුවීමෙ දී ඒ සඳහා ව්‍යවස්ථාවන් අනුගමනය කළ යුතු අතර ප්‍රදේශයට ගැලපෙන අයුරින් එය සකස් කර ගත යුතුය.

ඒ අනුව මෙහි ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා,
- මහා සභාවක් මගින් නිලධාරී මණ්ඩලයක් පත්කර ගනු ලබන අතර එම නිලධාරී මණ්ඩලය සාමාජිකයින්ගේ උවමනාවන් සපුරාලීම උදෙසා ක්‍රියා කරයි.
- වාර්ෂිකව සංවත්සර මහා සභා පවත්වන අතර අවශ්‍යතාවය අනුව කාරක සභා රැස්වීම් පවත්වනු ලබයි.
- කාරක සභාව මගින් ගනු ලබන තීරණ මහා සභාවට ඉදිරිපත් කර අනුමත කළයුතු අතර මහා සභාවේ තීරණය මත ක්‍රියාත්මක වනු ඇත.
- ප්‍රජා මණ්ඩලය මගින් කරනු ලබන කටයුතු මහා සභාවට ඉදිරිපත් කර අනුමත කළයුතු අතර ජනතාවගේ විශ්වාසය මත සෑම දෙයක්ම සිදු කිරීමට වග බලා ගැනීම නිලධාරී මණ්ඩලයේ වගකීම වේ.

ප්‍රජා මණ්ඩලයක් මගින් කරනු ලබන කටයුතු

  • ශ්‍රමදාන කඳවුරු පිහිටුවීම හා සාමූහික චාරිකා හා වාර්ෂික සම්මේලන පැවැත්වීම
  • සංස්කරණ සහ පුහුණු පාඨමාලා පැවැත්වීම
  • සමාජ සේවා කටයුතු
  • බාහිර හා අභ්‍යන්තර ක්‍රිඩා
  • සාහිත්‍යමය කටයුතු
  • නැටුම් ගැයුම් වැයුම් හා නාට්‍ය
  • ප්‍රථමාධාර කටයුතු
  • කර්මාන්ත කටයුතු පුහුණුව
  • ආගමික කටයුතු
  • වගා සංවර්ධන කටයුතු
  • ප්‍රාදේශීය සංවර්ධනය

 

මීට අමතරව පහත සේවාවන් පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පරිසර හා පොදු පහසුකම් අංශය විසින් තම ප්‍රදේශවාසීන් වෙත ලබාදීමට බැදි සිටි.

  • මාතෘ හා ළමා රක්ෂණ සේවා කටයුතු
  • ආයුර්වේද සම්බන්ධ කටයුතු
  • පෙර පාසල් සම්බන්ධකටයුතු
  • රුක් රෝපණය හා සම්බන්ධ කටයුතු
  • සුසාන භූමිසම්බන්ධකටයුතු
  • සෞඛ්‍ය හා බෝවන රෝගසම්බන්ධ කටයුතු
  • ගිනි අනතුරු, හදිසිආපදා සම්බන්ධ කටයුතු
  • පොදු නාන ස්ථාන හාදර්ශනීය ස්ථාන සම්බන්ධ කටයුතු
  • වීථි ආලෝක කිරීම් සම්බන්ධ කටයුතු
  • ඔරලෝසු කණු නඩත්තු කිරීම