පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ බැලිය යුතු තැන්

කිරිදි ඇල්ල

ලංකාවේ දිය ඇලි අතුරින් නවවැනි ස්ථානයේ ලා සැලකෙන මෙම දිය ඇල්ල පැල්මඩුල්ල නගරයේ සිට කි.මී 06ක් එපිටින් ගලාහැලෙන දර්ශනීය දිය පහරකි. උසින් අඩි 350ක් ද පළලින් අඩි 60ක් පමණ ද වේ. ඇල්ල ඉස්මත්තේ පිහිටි ‘‘කළුවර මූකලානේ‘‘ සිට මංගල ගමන අරඹයි. කිරිඳි ඇල්ල පහල කොටසේ ඇති ‘දියගන්වල‘‘ නම් ස්වභාවික දිය තටාකය නියං සමයේ දී හිස් කිරීමෙන් වැසි ලැබෙන බවට අදත් වැඩිහිටියන් විශ්වාස කරති. කිරිඳි ඇල්ලට මෙම නම ලැබී ඇත්තේ කිරිඳි වැල් බහුලව තිබීම නිසා බව මතයක් පවති. කිරිඳි ඇල්ල වනපෙත තුල ගොරකා, මුගුණ, අරළු, වෙනිවැල්, ගිරිනිල්ල වැනි ඖෂධීය තුරු ලතා ද, හොර, කැකුණ, නැටවි, ඌරුකුණු, වෙලං, දුම් වැනි වටිනා වෘක්ෂ ලතා ද, ඌරා, මීමින්නා, ඕළු මුවා, ගෝනා, ඉත්තෑවා, හාවා, රිලවා වැනි සත්වයෝ ද, නයා, පොලගා, පිඹුරා, කුණකටුවා, ඇහැටුල්ලා වැනි උරගයෝ ද බහුල වශයෙන් කිරිදි ඇල්ල ආශ්‍රිතව දිවි ගෙවන බව ද, මෙම ඇල්ල පිහිටි ප්‍රදේශයේ දරුණු කුෂ්ඨ රෝගයකින් පෙළුණු රජ කෙනෙකු විසු හෙයින් කුෂ්ටාපිටිය නමින් ද, පසුව කුට්ටාපිටිය වශයෙන් වෙනස් වී ඇති බව ද ගැමියන් පවසති. 

පිවිසුම :- බදුල්ල රත්නපුර මාර්ගයේ බදුල්ල දෙසට ගමන් ගන්නා විට පැල්මඩුල්ල නගරයෙන් වමට හැරී කුට්ටාපිටිය මාර්ගය ඔස්සේ 6.4km ගිය තැන කිරිඳි ඇල්ල හමු වේ.

 

පුළුන් ඇල්ල

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල උසින් දළ වශයෙන් අඩි 300ක් පමණ වේ යැයි අනුමාන කෙරේ. කිරිබත්ගල කන්ද ජල පෝෂක මගින් මංගල දියවර සපයයි. කිරිබත්ගල කඳුවැටිය පුරාවට කොහොඹ දෙවියන් අරක්ගෙන තිබෙන බව හා එම දේවාභරණ මෙම ඇල්ල තුළ ඇති ගුහාවක සඟවා ඇති බව පවසයි. රත්නපුර බදුල්ල මාර්ගයේ පාතකඩ ප්‍රදේශයේ දී කිරිබත්ගල කන්ද මතින් ආඩම්බරව කඩාහැලෙන පුළුන් ඇල්ල ඉතා දර්ශනීයව දිස්වේ.

 

තොටිලගම වැව (තොප්පුකොළම වැව) 

පිවිසුම :- බදුල්ල රත්නපුර ප්‍රධන මාර්ගයේ පැල්මඩුල්ල නගරයෙන් බදුල්ල දෙසට ගමන් ගන්නා විට කුට්ටාපිටිය මංසන්ධියෙන් හැරී කුට්ටාපිටිය මාර්ගය ඔස්සේ කුට්ටාපිටිය කිරිඳි ඇල්ල පිහිටි ස්ථානයෙන් වමට හැරී තොටිලගම මාර්ගය ඔස්සේ ලඟා විය හැකිය.

පැල්මඩුල්ලේ සිට - 9.1km

කුට්ටාපිටියේ සිට - 2.7 km

මරක්කල ඇල්ල

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට අයත් මිදලන ගම් පියසේ මෙම දිය ඇල්ල පිහිටා ඇත. දියඇල්ලේ උස අඩි 18ක් පමණ වේ. මරක්කල ඇල්ල නාමය සෑදි ආකාරය පිළිබඳ රස කථාවක් ද ජන කටවහරේ වේ. වෙළඳ කටයුතු සඳහා මෙම ප්‍රදේශයට පැමිණි එක් මරක්කල ජාතිකයෙක් දිනක් බීමතින් මාළු ඇල්ලීමට පැමිණ සිය පාදයේ බිලී පිත්ත ගැටගසාගෙන සිටිය බවත්, ඔහු බීමත්ව සිටි නිසා නින්ද ගිය විට විශාල ආඳෙක් බිලී පිත්තෙන් ඇද මෙකී මරක්කල පුද්ගලයා ද දිය යටට ඇදගෙන ගිය බව ගැමියෝ පවසති. ඉතා විශාල දිය තටාකයක් ලෙස ඇල්ල කඩා වැටෙන ස්ථානය හැදින්විය හැක.

 

ගන්කන්දගෙදර වලව්ව


පිවිසුම :- පැල්මඩුල්ල නගරයේ කුට්ටාපිටිය මාර්ගයට පිවිස විද්‍යාල මාවත ඔස්සේ මහින්ද විද්‍යාලය අසලින් ගනේගම මාර්ගයට පිවිස ගන්කන්ද ගෙදර වලව්වට ළඟා විය හැකිය.
පැල්මඩුල්ලේ සිට - 1.2km

 

රජනෑව ඇල්ල

රත්නපුර නගරයේ සිට නිවිතිගල මහා මාර්ගයේ සැතපුම් 04ක් පමණ ගිය තැන මෙම ඇල්ල හමුවේ. අඩි 42ක් පමණ උසින් යුතු මෙම දිය ඇල්ල ‘‘කබරගල මූකලානෙන්‘‘ මංගල ගමන අරඹයි. පැරැන්නන් පවසන පරිදි වලගම්බා රජු ස්නානාය කල ස්ථානයක් හෙයින් රජුනෑව ඇල්ල ලෙස ප්‍රසිද්ධව පසු කලෙක රජනෑව ඇල්ල ලෙස හැදින්වීමට වූ බව පැවසේ. තවද රජුගේ ආභරණ ඇල්ල ආශ්‍රිතව ගල් ලෙනක තැන්පත් කර ඇති බවත්, ඒවා සුරක්ෂිතව රැකබලා ගැනීමට රන් ආඳෝ ඇති බවත් ඔවුන්ගේ විශ්වාසයයි. කෙසේ නමුදු ස්වභාවධර්මයේ විශ්මිත නිර්මාණයක් ලෙස මෙම ස්ථානය හදුන්වා දිය හැක.

 පිවිසුම :- බදුල්ල රත්නපුර ප්‍රධාන මාර්ගයෙන් බදුල්ල දෙසට ගමන් ගන්නා විට තිරිවනාකැටිය හංදියෙන් කලවාන මාර්ගයට පිවිස 1.7km ගිය තැන මාරපන පාලම අසල පිහිටා ඇත.